මෙරට දේශපාලකයින්ගේ අවිධිමත් පාලනය හමුවේ දැඩි ආර්ථික අර්බුදයකට ජනතාව දැන් මුහුණ දී සිටිති. රටේ අවශ්‍යතා සපුරාලීමට ඩොලර් සංචිත නොමැතිවීමෙන් දැඩි ආර්ථික අපහසුතාවකට රටම පත්ව ඇත. විශේෂයෙන්ම විදෙස් ශ්‍රමිකයින් මෙරට බැංකු පද්ධතිය හරහා එවපු ඩොලර් ප්‍රමාණය අඩු වී තිබේ. මේ අයගෙන් සමහර අය උන්ඩියල් නැත්නම් හවාලා ක්‍රම යටතේ ඩොලර් එවීමට පටන් ගෙන ඇත. ඒ ඩොලරයකට ගෙවන මුදල බැංකුවලින් ලබාදෙන මුදලට වඩා උන්ඩියල් ක්‍රමයේදී වැඩි හෙයිනි.
හවාලා කියන්නේ අරාබි වචනයක්. ඉන් හුවමාරු කිරීම යන අර්ථය ගෙන එයි. මෙම ක්‍රමය රටකින් රටකට අවිධිමත් ලෙස මුදල් යැවීමට උපයෝගී කර ගනී. බැංකු පද්ධතිය මගහැර මුදල් යැවීමේ ක්‍රමය විවිධ රටවල නොයෙක් නම්වලින් හඳුන්වනවා. ‘උන්ඩියල්’ කියන්නෙත් එම ක්‍රමය හඳුන්වන තවත් නමක්. උන්ඩියල් ක්‍රමය යටතේ අවම කාලය, හුදු පහසුව, ලියකියවිලි පිරවීමක් සිදු නොවීම, අඩු වියදම, රහස්‍යභාවය ආරක්ෂා වෙන බව එම ගැනුම්කරුවෝ පෙන්වා දෙති.
ලංකාවේ ද උන්ඩියල් ක්‍රමයට මුදල් හුවමාරු වූයේ අද ඊයේ සිට නොවේ. හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ජනවාරි 30 දා දිවයින පුවත්පත සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකදී පවසා තිබුණේ ඩොලර් බිලියන 1.5ක වැනි මුදලක් උන්ඩියල් ක්‍රමය හරහා ලංකාවට එන බවය. එසේම ඇමැතිවරයා එම සාකච්ඡාවේදී පෙන්වා දෙන්නේ උන්ඩියල් හවාලා වැනි ක්‍රම ලෝකේ රෙකග්නයිස් ක්‍රමයක් බවය. ඒක හරියට බිට් කොයින් (Bitcoin) වගේ. මහ බැංකුවේ තියෙන ඩොලර් ලක්ෂයයි උන්ඩියල් කරන කෙනා ගාව තියෙන ඩොලර් ලක්ෂයයි දෙකම එකයි. මම යුද්ධය කාලේ ඩොක්ටර් ජයසුන්දරවත් අයින් කරලා තිබිලා තෙල් නැවට මුදල් ගෙව්වේ පිටකොටුවෙන් අරගෙන. සුමාන දෙකකට සැරයක් තෙල් නැවක් එනකොට අපි ඩොලර් එකතු කරන්නේ පිටකොටුවේ ඉන්න මුදලාලිලාගෙන්. යුද්ධය යන වෙලාවේ බුෂ් මාස්ටර් ගන් එකට අපි පතුරම් ගත්තේ උතුරු කොරියාවෙන්. ආයුධ ගත්තේ බ්ලැක් මාර්කට් එකේ සල්ලිවලින් යැයි බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කොට තිබුණි. ඒ නිසා රටට අවශ්‍ය ඩොලර් බැංකු පද්ධතිය හරහා එවිය නොහැකි නම් උන්ඩියල් ක්‍රමයට හරි රටට ඩොලර් එවන ලෙස බැසිල් රාජපක්ෂ මහතා එදා විදෙස් ශ්‍රමිකයින්ගෙන් ඉල්ලා සිටියේය. නමුත් මේ ප්‍රකාශවලට එරෙහිව පාර්ලිමේන්තුවේදී මෙන්ම පිටතදී ද දැඩි විවේචනයක් බැසිල් රාජපක්ෂට එල්ල වෙන විට ඔහු එම ප්‍රකාශ රිවස් කර ගත්තේය.
එම ප්‍රකාශ හරහා පෙනෙන්නේ ලංකා රජය සෑහෙන කාලයක සිට උන්ඩියල් ගනුදෙනුවල නිරත වී ඇති බවකි. එසේනම් මේ පිටුපස සිටිමින් මහ පරිමාණයෙන් උන්ඩියල් ජාවාරම කරන්නේ කව්ද යන්න සොයාබැලිය යුතුමය.
උන්ඩියල් ක්‍රමය හරහා ක්‍රියාත්මක වෙන්නේ මුදල් හුවමාරුව පමණක් නොවේ. ඖෂධ, කිරිපිටි කර්මාන්ත අමුද්‍රව්‍ය, වාහන, අවි ආයුධ, රත්තරන්, කෘෂි බීජ ඒ අතර වෙයි. මේ දිනවල රටට අවශ්‍ය භාණ්ඩ ගෙන්වීමට බැංකු මගින් ණයවර ලිපි නිකුත් කරන්නේ නැත. නිකුත් කළත් ඒ සඳහා අවශ්‍ය ඩොලර් ලබාදෙන්නේ ද නැත. මේ නිසා උන්ඩියල් ක්‍රමය හරහා බොහෝ දේ ලංකාවට එන බව ව්‍යාපාරිකයෝ ද සනාථ කරති.
මෙරට උන්ඩියල් ක්‍රමයේ අද ඉන්නේ ඉන්දියන් ජාතිකයින් බව උන්ඩියල් ක්‍රමය ගැන තොරතුරු දෙන ප්‍රකාශකයෙකු අප වෙත කීය. එම ප්‍රකාශකයා තහවුරු කරන්නේ උන්ඩියල් ක්‍රමය හරහා රත්රන් වෙළඳාමේ යෙදෙන්නේ හිටපු එල්ටීටීඊ සාමාජිකයින් දෙදෙනෙකු බවය. මේ දෙදෙනාට රාජ්‍ය ආරක්ෂාවද ලැබෙනවාලු කියා එම ප්‍රකාශකයා පෙන්වා දෙයි. මෙම එක් අයෙකු එල්ටීටීඊයේ ඉන්න කාලයේ ජාඇල පැත්තේ පිරිසක් සමග එකතුව ආයුධ ජාවාරමට සම්බන්ධ වුණාලු. මේ පිරිස විසින් එල්ටීටීඊයේ සාමාජිකයාට නව නිවසක් ද තනා දී ඇති බව අප වෙත තොරතුරු දෙන ප්‍රකාශකයා පෙන්වා දෙයි. මේ අය උන්ඩියල් ක්‍රමය යටතේ රත්තරන් විකුණන වැඩෙත් කරනවලු යැයි එම ප්‍රකාශකයා පෙන්වා දෙයි.
0 Comments